2012-08-25

බින්ලාඩන් ඝාතනයට බැරක්‌ ඔබාමා බිය වූවාද?



ඔසාමා බින්ලාඩන් සැඟවී සිටින්නේ පකිස්‌තානයේ ඇබොටාබාද්හි බිලාල් නගරයේ තුන් මහල් ගොඩනැඟිල්ලේ දැයි යන සැකය ඇමරිකානු සී.අයි.ඒ. නිලධාරීන්ට මුලින්ම ඇතිවූයේ 2010 දීය. 2010 අගෝස්‌තු මාසයේදී සී.අයි.ඒ. ඔත්තුකරුවකු බින්ලාඩන්ගේ පණිවිඩකරු වූ අල් කුවේට්‌ ලුහුබැඳ යද්දී ඔහු මේ නිවසට ඇතුළුවීම දුටු නිසා මේ සැකය මුලින්ම ඇතිවිය. පසුව මේ නිවසේ සිටින තැනැත්තා බොහොදුරට බින්ලාඩන්ම විය හැකි බවට බුද්ධි තොරතුරු එක්‌රැස්‌ කර ගැනීමට හැකි විය. ඒ නිසා දෙසැම්බර් මාසයේදී ඩොලර් මිලියන සිය ගණනක්‌ සී.අයි.ඒ. සංවිධානයට වෙන් කරනු ලැබුවේ මේ මෙහෙයුම වඩා සාර්ථකව සිදු කරනු පිණිසය. ඒ අනුව සී.අයි.ඒ. සාමාජිකයෝ ඇබොටාබාද්හි නිවසක්‌ ද මිලදී ගෙන ඈත සිට මේ තෙමහල් නිවස නිරීක්‍ෂණය කරන්නට විය.


ඇබොටාබාද් නිවස ඉදිකර ඇත්තේ 2004 දී වන අතර එම නිවස හා පකිස්‌තාන හමුදා ඇකඩමිය අතර දුර කිලෝමීටර් 1.3 කි. මෙම හමුදා ඇකඩමිය බ්‍රිතාන්‍යයේ සැන්ඩහර්ට්‌ හමුදා ඇකඩමියට මෙන්ම ඇමරිකාවේ වෙස්‌ට්‌ පොයින්ට්‌ හමුදා ඇකඩමිය හා සමාන උසස්‌ම ආයතනයකි. බිලාල් නගරයේ වැසියන් නම් සිතුවේ මේ නිවසේ වෙසෙන්නේ වසිරිස්‌තානයේ වැසියෙක්‌ කියාය.


කවරක්‌ නමුත් අවසානයේ Operation Neptune Spear එනම් බින් ලාඩන් ඝාතන මෙහෙයුම මැයි 1-2 ත් අතර මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක විය. මේ සඳහා "ඇමරිකානු සීල්" භටයන් 79 ක්‌ද, කයිරෝ නමැති හමුදා බල්ලා ද සහභාගි වූ අතර මේ පිරිස ජලාලාබ්ද් ගුවන් කඳවුරේ සිට හෙලිකොප්ටර් හයකින් මෙහෙයුම සඳහා පැමිණියහ. මෙම මෙහෙයුමේ ප්‍රධානියා වූ ඇමරිකානු ඒකාබද්ධ මෙහෙයුම් ඒකකයේ ප්‍රධානී වයිස්‌ අද්මිරාල් විලියම් එම්. මැක්‌රාවන්ට ඇබොටාබාද්හි නිවසක බින්ලාඩන් වෙසෙන බව සී.අයි.ඒ. සංවිධානය හෙළි කළේ 2011 ජනවාරි මාසයේය. මුලින්ම කිලෝ ග්‍රෑම් 900 ක බෝම්බයක්‌ දමා මේ නිවස විනාශ කිරීමට යෝජනාවක්‌ ඉදිරිපත් වුවද එය අත්හැර දමන ලදී.


ඔසාමා ඝාතනය සඳහා යොදාගත් ඇමරිකානු සීල් භටයන්ට පශ්තො භාෂාව කතා කිරීමේ හැකියාව තිබුණු අතර මීට පෙර ද ඔවුහු ඇµaගන්, පකිස්‌තාන් දේශසීමාවේ මෙහෙයුම්වල නිරත වූවෝ වෙති. අප්‍රේල් 10 වැනිදා උතුරු කැරොලිනාවේදීත්, අප්‍රේල් 18 වැනිදා නෙවාඩාවේදීත් මේ සීල් භටයෝ පෙරහුරුවල නිරත වූහ.

මැයි 01 වැනිදා ඇමරිකානු වේලාවෙන් පස්‌වරු 1.22 ට එවක සී.අයි.ඒ. ප්‍රධානි ලියොන් පැනෙටා ජනපති උපදෙස්‌ මත මේ මෙහෙයුම ආරම්භ කරන ලෙස වයිස්‌ අද්මිරාල් මැක්‌රාවන්ට උපදෙස්‌ දුන් අතර පස්‌වරු 3 පසුවූ විට ඇමරිකානු ජනපතිවරයා ද මෙහෙයුම් මැදිරියට පැමිණ මේ ත්‍රාසජනක නමුත් කල්පිතයක්‌ නොවන සැබෑ මෙහෙයුමේ සජීවී දර්ශන නයිට්‌ විෂන් කැමරා හරහා ලබාගෙන නැරඹීය. මේ දර්ශන ෙඩ්‍රාන් යානා හරහා ද ලබා ගැනුනු අතර මේවා විස්‌තර කර දෙනු ලැබුවේ සී.අයි.ඒ. ප්‍රධානියා විසිනි. පෙන්ටගනයේ සිට ද ඉස්‌ලාමාබාද්හි පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ සිට ද මේ මෙහෙයුම සජීවීව නිරීක්‍ෂණය කරන ලදී.

සීල් භටයන්ට බින්ලාඩන් හමුවූයේ මේ නිවසේ තුන්වැනි මහලේදීය. බින් ලාඩන්ගේ බිරින්ඳෑවරු දෙදෙනෙක්‌ම තම සැමියා ආරක්‍ෂා කර ගැනීම සඳහා ඔහු ඉදිරියෙන් සිටගත් අතර අල් ඛයිඩා නායකයාගේ ලාබාල බිරිඳ අමාල් අහමඩ් µටාන් අරාබි භාෂාවෙන් කෑගසමින් සීල් භටයන්ට තර්ජනය කළාය. කෙසේ නමුත් එක්‌ සීල් භටයෙක්‌ අමාල්ගේ කකුලට වෙඩි තබා මේ ගැහැනු දෙදෙනාම පසෙකට තල්ලු කළ අතර අනෙක්‌ භටයා සිය ගිනි අවියෙන් බින්ලාඩන්ගේ පපුවට හා ඔලුවට වෙඩි තැබීය. ඒ සමගම ඔහු තම ගුවන්විදුලි පණිවිඩ උපකරණය හරහා Geronimo EKIA (Knemy Killed in action) යනුවෙන් පැවසූ අතර ධවල මන්දිරයේ මෙහෙයුම් මැදිරියේ සිටි බැරක්‌ ඔබාමා මහත් සතුටෙන් We got him යනුවෙන් පැවසීය.

ඇත්තෙන්ම මේ අතීත සිද්ධිය ගැන යළි මෙනෙහි කළේ බින්ලාඩන් ඝාතනය ගැන අලුතින්ම පොතක්‌ නිකුත් වී ඇති නිසා පමණක්‌ නොව ඒ මගින් වඩා විවාදාත්මක කරුණු රැසක්‌ හෙළි කර ඇති නිසාය. ඇමරිකානු ජනාධිපතිවරණ වේදිකාව ද රත්වන ආකාරයේ ආන්දෝලනාත්මක තොරතුරු රැසක්‌ මේ මගින් හෙළි කර ඇත. Leading from Behind නම් මේ ග්‍රන්ථය නිකුත් වූයේ ඉකුත් 21 වැනිදාය. ගවේෂණාත්මක මාධ්‍යවේදී රිචර්ඩ් මිනිටර් විසින් රචනා කර ඇති මේ ග්‍රන්ථය මගින් ජනපති බැරක්‌ ඔබාමාගේ නායකත්ව හැකියාව, කෙලින් තීරණ ගැනීමේ හැකියාව තදින්ම ප්‍රශ්න කර ඇත. මේ ග්‍රන්ථය හෙළි කළ තොරතුරුවලට අනුව ඔසාමා ඝාතනය කිරීම සඳහා සංවිධානය කළ හමුදා මෙහෙයුම තෙවතාවක්‌ම ජනපති ඔබාමා විසින් අවලංගු කර ඇත. 2011 ජනවාරි මාසයේදී මෙන්ම පෙබරවාරියේත්, මාර්තු මාසයේදීත් මේ මෙහෙයුම සිදු කිරීමට කටයුතු යොදා තිබුණ ද ඒවා ජනපති අණ නොලැබීම නිසා නවත්වා දමන ලදී. මේ මෙහෙයුම වැරදී ගියහොත් එයින් සිදුවන දේශපාලන අවාසිය ගැන ඔබාමා බෙහෙවින් බියවූ බව මිනිටර් සිය ග්‍රන්ථයෙන් සඳහන් කරයි.

එහෙත් සැබවින්ම ඔසාමා මරා දැමීම සඳහා මේ මෙහෙයුම අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු යෑයි ජනපතිවරයාට බල කර සිටියේ දැඩි හදවතක්‌ ඇති හිලරි ක්‌ලින්ටන් විසිනි. මේ ග්‍රන්ථය හෙළි කරන තොරතුරු අනුව ධවල මන්දිරයේ පැවැත්වෙන ආරක්‍ෂක කමිටු රැස්‌වීම්වලදී ඈ සෑම සතියකම මේ මෙහෙයුම ක්‍රියාත්මක කළ යුතු යෑයි දෙගිඩියාවෙන් සිටින ජනපතිට බල කළාය. සී.අයි.ඒ. තොරතුරු නිවැරදි දැයි ඔබාමා ප්‍රශ්න කරද්දී හිලරි පැවසුවේ මේවා නිවැරදි බවත් ඒ නිසාම වහාම මෙහෙයුම ක්‍රියාත්මක කළ යුතු බවත්ය. 2008 ජනපතිවරණයට ඩිමොක්‍රටික්‌ පක්‍ෂයේ නාම යෝජනා දිනා ගැනීමට හිලරි හා ඔබාමා අතර දරුණු සටනක්‌ ඇති වුවද ඇය රාජ්‍ය ලේකම් වූ පසු ඔබාමා පාලනය තුළ තම ආධිපත්‍යය නිසි ලෙස ආරක්‍ෂා කර ගත්තාය.

සැප්තැම්බර් ප්‍රහාරයට ප්‍රථම බින් ලාඩන් නිහඬ කිරීම සඳහා තම ජනපති සැමියාට එනම් බිල් ක්‌ලින්ටන්ට නොහැකි වීම නිසා විශාල දේශපාලන සමාජ වන්දියක්‌ ගෙවන්නට සිදුවුණු බව ඇය හොඳින් දැන සිටියාය.

අවසානයේ ජනපති ඔබාමා ද මේ රාජ්‍ය ලේකම්වරියගේ අදහස හා එකඟ වූ බව මිනිටර් සිය ග්‍රන්ථයේ සටහන් කරයි. ඒ අනුව අපට පැහැදිලි වන්නේ ඔසාමා ඝාතනය පසුපස සිටි ප්‍රධාන බලවේගය වූයේ බැරක්‌ ඔබාමා නොව හිලරි ක්‌ලින්ටන් බවය. මේ ග්‍රන්ථයට අනුව මුලින්ම පකිස්‌තානු හමුදා කර්නල්වරයකු බින්ලාඩන් සැඟවී සිටි ස්‌ථානය සී.අයි.ඒ. සංවිධානයට හෙළි කර ඇත.

ඇමරිකාවට අත්‍යවශ්‍ය ත්‍රස්‌තවාදී නායකයා මරා දමන්නට දින 3519 ක්‌ ගත විය. 2001 සැප්තැම්බර් 11 න් පසු ආරම්භ කළ ත්‍රස්‌තවාදයට එරෙහි මෙහෙයුම නිසා ලොව පුරා දසලක්‍ෂයක්‌ දෙනා ඝාතනය විය. ත්‍රස්‌තවාදයට එරෙහි මෙහෙයුම සඳහා වැය වූ මුදල ඩොලර් ටි්‍රලියන 1.2 කි. අද ඇමරිකාව ආර්ථික වශයෙන් ඇදවැටී ඇත්තේ ද මේ වියදම් නිසාය. නමුත් ඇමරිකානු ත්‍රස්‌ත මෙහෙයුම් 2011 මැයි මාසයේදී අවසන් වූයේ නැත. කෙසේ වෙතත් මේ ග්‍රන්ථය නිසා ඔබාමාගේ ඉදිරි දේශපාලන ගමන ගැන නම් ප්‍රශ්න කෙරෙන බව පැහැදිලිය.

 By:Divaina

No comments:

Post a Comment